Showing posts with label NDES. Show all posts
Showing posts with label NDES. Show all posts

Thursday, August 11, 2022

අසුර සේනාව මැද්දේ සීතා බේරගන්ඩ ආව හනුමන්ත

 

අවුරුද්දකට දෙකකට  විතර කලින් කොරෝනා  හින්ද කෙළ හලන්නේ නැතුව හතිඅරින්ඩ  හම්බවෙච්ච වෙලාවක "බණ්ඩාගේ සිතුවිලි" බ්ලොගේ ලියවෙච්චි අතීතය අඩයාලමට ගොඩවැදිච්ච් අපේම උං ටිකක් පහුගිය දොහේ බණ්ඩාගේ මූණුපොතේ උඩහට ගෙනත් තිබ්බා. 

ඉතිං ආයේ ගියා කියහන්කෝ අවුරුදු විස්සක් හමාරක් පස්සට

බාලාන්සේ කාලේ ඉදන් දැකල පුරුදු ඩයල් එකක් කෑගගහ කාවද හොයනවා ...............

හෝඩියේ පංතියට මම යනකොටත් පොර මගේ immediate සින්න

හයේ ඉදං මරියකඩේ සෙන්ට්‍රල් එකෙත් සින්න

අම්මටසිරි මෙන්න මූ මෙහෙ

ජයට කොඩිය බැදපු මගේ සර්වකලීන immediate සින්නා

කාටද දෙයියෝ ඉවසන්න පුලුවන්

 මේ අසුර සේනාව මැද්දේ සීතා බේරගන්ඩ ආව හනුමන්ත වගේ

මලා හනුමන්ත කියන්නේ වදුරෙක් නේද........

ඉතිං එදා පෙනිච්ච විදිහටනේ ලියන්ඩ වෙන්නේ

මොකෝ රාමා කියල ලියන්ඩ මේක 1942 ලව් ස්ටෝරි නෙමෙයිනේ

ඔව් සිතා බේරගන්ඩ ආව හනුමන්ත වගේ මම පොරව දැක්කේ

පොර සින්නොත් එක්ක දුම දාපු ඩයල් එකක් හොයනවා

හිනාව කපාගෙන ලී පුටුව ඔලුවේ තියාගෙන මම පොර දිහා බැලුව විතරයි පින්වතුනි

අන්න ඉන්නවා කැ #යා .............

මාව බේරගන්ඩ ආපු හනුමන්තගේ සේනාවේ හිටපු තවත් වදුරු මොටෙක්, නෑ ....නෑ.....  සින්නෙක් කෑගහල මාව පෙන්නුවා

වෙන්ඩ තියෙන දෙයක් වලක්වන්ඩ සක්කරයටවත් බෑ කියනවනේ

බිව් රං කිරි කොහොම වෙතත් බිව්ව, කාපු ෆිල්ටර් කොට ටිකනං කටිං එන ගානට හුක් ගෑවුනා ඒ ජේෂ්ඨ උත්තමය මටදුන්න ගරු නම්බුනාම අහුනට පස්සේ 

මාර දිව්‍ය පුත්‍රයාට හිටපු රක්තවර්ණ අක්ෂි යුග්මයෙන් යුත්වූ චතුරංගනී මහා සේනාව වගේ තමයි මේ සෙට් එකත්

ඇතුගල පැත්තේ සෙනවියෝ දෙන්නයි,

 එකෙක්ගේ කොන්ඩේ මැද්දෑවෙන් අබුල්තියල්  ගේන්ඩ හදපු හයි වේ පාර වගේ පාරක් තියෙන තාරකාවක් , 

අනිකා ලී ලෙට කතා කරන්ඩ දස්ස ගොටයිම්බර වගේ කොට හාදයෙක්, 

අනික් දෙන්න ඉතිං රාජකීය පහස ලබපු  පානදුරාවාදී කස්සපුටයෙකුයි, මගේ සදාකාලීන සින්නතුමයි.

සෙට් එකම පැන්නේ නැතෑ මගේ ඉස්සරහට

අම්මේ මල් මී පැණි බින්දු බින්දු පෙම් මදිරා සාරු සාරු...

සුවද ..දැනී.. දැනී........ දැනුණා ............

ඒ ආපු සුවදට රස නහර පිනාගියා ..................

ඈ බෝල තෝ ආපු දවසේ ඉදන් දුම දාන්නේ තෝ මේක මොකක් කියල හිතාගෙනද????

 තොට ආතල්ද???

 තොගේ ඇ # කරකවල ගන්නේ.......

 තෝ වර ඕක බිමින් තියල........... ඒ ගෞරවණිය සුන්දර ඉල්ලීමක්

අපි ඉතිං හැදිච්ච දෙමව්පියන්ගේ නැහැදිච්ච දරුවෝනේ ආයුබෝවන්ඩ, මේ මලදානේ වරදියටමයි ටයිප් වෙන්නේ, 

නැහැදිච්ච දරුවෝ නෙමෙයි හැදිච්ච දරුවො, හැදිච්ච දරුවො //

ඔව් කියපල්ලා යකුනේ බකන්නිලාගෙන ඉන්නේ නැතුව

අපි ඉතිං වැඩිහිටියෙක් යමක් කිව්වහම අහන, මොන වහන්තරාවක උනත් දන්න කියන කෙනෙක් හම්බුනාම හිනාවෙන්න දන්න අයනෙ 

සිරිත්මල්දමේ සිනා නොමසෙන් දසන් දක්වා කියල ලියල තිබ්බට මංතුමා අපේ සින්නයියට හායි කියල දත් තිස්දෙකම පෙන්නලා හිනාවුණා.

අප්පටසිරි උගේ මුනත්තහඩුව යකෙක් දැක්කා වගේ උනා කියහන්කෝ

ඒකට හේතු ප්‍රත්‍ය හොයන්ඩ මට ඉස්පාසුවක් එන්ඩ කලිං

යකෝ තව මූ  හිනාත් වෙනවා කපපිය හුත්# හිනාව 

ලී ලෙට කතා කරන හාදය මගේ ඇගට ගොඩවුනා 

ඇහුව කියපන්කො අර ඉතිහාසගත ප්‍රශ්නේ ආයෙත්

 තෝ කොහේ ඉදලද එන්නේ  ???

ඇත්තම ගම කියන්ඩ ගිහිං වෙලා තිබ්බ අටෝරාසියක් අකරතැබ්බ හින්දයි, මගේ සර්වකාලීන සින්නතුමත් සියනෑ කෝරළේ පොරක් හින්දයි බයක් සැකක් නැතුව කටපුරෝලා ගම්පහ කියල කිව්වා ආයුබෝවන්ඩ

අනේ කොහොමත් කාලවර්ණ මෙගේ අතිජාත සින්නතුමගේ මූණත්තහඩුව කන්කලු වෙලා ගිය කියහන්කෝ

ආ උබ ඒකද මේ පොර වෙලා තියෙන්නේ. අඩෝ තෝ හිතාගෙන ඉන්නේ ##..## වගේ දාහකුත් එකක් ප්‍රශ්න පත්තරයක් සෙට් එකෙන්ම අහනවා. මගේ සින්නතුමා නෙමෙයි කටක් හොල්ලන්නෙ 

තෝ කොහෙද ඉස්කෝලේ නායකේද ???

කෝච්චිය පරණ පාරෙමයි...........

HSC කොරන කාලේ සමහර දවස් වල නායකේ පන්තිවල පැයක් දෙකක් හිටියට,

අගලගෙන්, බිබිලගෙන් බේරෙන්ඩ කට්ටි පැන්නට

ඇත්තටම නායකේ නෙමෙයිනේ

තොට ඇහුනේ නැද්ද ???? තොගේ ඉස්කෝලේ කොහෙද  ???? ඒ පාර ඇහුවේ අර රාජකීය පොර

දැන් ඉතිං වෙන කුමක් කරන්නද..............

ඉස්කෝලේ නම කිව්වා විතරයි ,,,

චතුරංගනී සේනාවේ සෙන්පතියෝ තුන්දෙනෙකුට බකස් ගාල හිනා පහලවුණා

මේ වෙනකොට මෙගේ අතිජාත සින්නතුමාගේ මද පදම කෙලවෙලා ඇස් උඩ ගිහිං

.....................................................................A Few Moments Later.....................................................

වරෙන් වරෙන් පැත්තකට .....

සිහිය ආවට පස්සේ මෙච්චර වෙලා නොකර සද්ද හිටිය පොර මාව චතුරංගනී සේනාවෙන් පැත්තකට ගත්තා

දැන්නේ බොලේ අපේ උං රගන රැගිල්ල දැක්කේ....

එකියක් සින්දු කියනවා, එකියක් කවි කියනවා, තව එකියක් වන්නමක් නටනවා, එකෙක් මනෝ පුටුවේ, තව එකෙක් පුටුවක් උඩ නැගල මොනවදෝ කියවනවා, එකෙක් කෝච්චියේ යනවා, එකෙක් බස් එකේ යනවා,අනික් උන් සේරම ලී පුටුව ඔලුවේ තියාගෙන   ගිණිවිජ්ජුම්බරයයි

ඒ අස්සේ මල් කඩන සින්නොත් නැත්තේම නෑ හොදේ.........

දැන් ඉතිං පවුල්කාරයෝ හින්ද පහුගිය දේවල් කියල හිත කොනිත්තන්ඩ  ඕනේ නෑනේ නේද ????

හෙමින් සැරේ අයියාතුමා එක්ක කොරිඩෝවට ලයින් කළා

උබත් මහෙට ආවද........

ඒ ලෙන්ගතු සහෝදර බැදීම...

වසර ගණනාවක් හමුනොවුනත්, කතාබනුවෙන් කතාබහ නොකලත්  අදටත් එලෙසමයි

වාහනේක එන්ජිමක් ගලවන්ඩ, විදුලි බලාගාරෙක වැඩබලන්ඩ, තට්ටු බිල්ඩිමක ඩිසයින් එක කරන්ඩ වගේ හීනවල් හිතේ තියාගෙන අඩියක් උඩින් පලවෙනි දවසෙ උදැහැනැක්කේ ගොඩ වැදිච්ච් අපේ උන්ට මුලින්ම සෙට්වුණේ  ඔන්න ඔය වගේ ආතල්........

එහෙන් මෙහෙන් අමාරුවෙන් පඩි නැගගෙන ආපු ස්ත්‍රී පරාණයක් අතේ තිබ්බ ෆයිල් මිටියෙන් ගහල සින්නො ටික එලෙව්වා.

ලපයක් නං මූනෙ තිබ්බේ නෑ අපේ හාමුදුරුවනේ 

Active voice and Passive voice...... ඔන්න පලවෙනි පාඩම

මළා .....

අයෙත් ඉංගිරිසී........................................

ඉන්ජිනේරින් ඉගෙනගන්ඩ.......

 නෑ ...නෑ..... බං ඉංගිරිසී  ඉගෙනගන්ඩ 

කුකුළත් අතින් අරං ගම්පහ මිගමුව 240, ගම්පහ කටුනායක 270  බස්වල  ආපු, කාපු, බීපු, අතීතයත් එක්ක හමුවෙමු...............



Thursday, December 17, 2020

තෝ ලාම්පුවට තොල් දාලද ?????

දුම්බීම ශරීරයට අහිතකරයි !!!!!!!!!!!!!!!!!

එදා අන්තිමට සුදු ෂර්ට් එකයි කළු කලිසමයි ඇදල පොලිෂ් කරපු සපත්තු දාපු  පිළිවෙලට ඉන්න සෙට්එක පැත්තට  මම සිංගල්වීල් එකේම ලයින් කලා මතකයිනේද  උබලට ....

ගිහින් ඉතිං මගේ සුපුරුදු තැටිය ගහන්ඩ පටන්ගත්ත. උන්ට මං ගැන වගේ වගක් නෑ , 

උන්ගේ හතර පස් දෙනෙක් පොරකෑවෙ කැරම් බෝඩ් එකේ පුටු වලට, තව සෙට් එකක් වැඩේ තුන හතරක් බෙදාගන්ඩ 

ඉතිං උන්ට මං ගැන වගේ වගක් නෑ .

මගේ තැටියේ අන්තිම හරියේදී තමයි උන්ට මාව මීටර් උනේ,

අනේ වාසනාවන් ............

අඩෝ උබ සිගරට් බොනවද ???? කොහේදෝ පැත්තක ඉදංආපු ඝෝසකයෙක් වාගෙ ඇත්තෙක් මගෙන් ඇහුව,

වෙලා තිබ්බ උඩප්පරන් හැටියට චීස් කෑල්ලද පොල් කෑල්ලද කන්නේ කියල පිහි තලේ උඩ බෙල්ල වනපු මීයා වගේ කරන්නේ මොකද්ද  කියලවත් හිතාගන්ඩ  බැරුව ඉන්නකොට කොහොමද ඉතිං ඔය වගේ පට්ට අධ්‍යාත්මික ප්‍රශ්නයකට උත්තර දෙන්නෙ.  

ඕන එකක් වෙච්චාවෙ කියල මං  නෑ  කියල කියන්ඩ හදනකොටම, ශ්‍රද්ධා සම්පන්න සුපින්වතුනි,

 පලවෙනි වරට පාලි සංස්කෘත එක්කම 

තෝ සිගරට් බොනවද හු ##, 

කියල පුදුම මිත්‍රශීලි කමකින් අහපි,

සුදු ෂර්ට් එකයි කළු කලිසමයි ඇදල පොලිෂ් කරපු සපත්තු දාපු  පිළිවෙලට ඉන්න සෙට් එකේ මනුස්සකම දෙපිටින් දොරේ ගලන්ඩ පටන්ගත්ත 

නෑ  අයියේ ..... 

හැදියාව ඇති ළමයි ඔය වගේ දුරාචාර කරනවද නෑනෙ  නේද ??????

ඔව් කියහල්ලකෝ යකුනේ මාවම කන්ඩ බලං ඉන්නෙ  මේකෙ,

නෑ ......... 

එහෙනං කොහොමද  තොගේ තොල් කලුවෙලා තියෙන්නේ???  

තෝ ලාම්පුවට තොල් දාලද ?????

අප්පොච්චයේ, අම්ම මුත්ත කාලෙවත් අහල තිබ්බ පුරස්නයක් නෙමෙයි නෙ ඇහුවෙ, දැන්  ඉතිං  දීපංකො ඕවට උත්තර . 

 හොද වෙලාවට ඒ කාලේ ඔය හෑන්ඩ් ෆ්‍රී සෙට් එහෙම තිබ්බේ නැත්තේ  උරන්ඩ, නේද අපේ හාමුදුරුවනේ,

නැත්තං තොලේ ඇති විවිදත්වය ගැන සින්නට තිබ්බ දැනුම හින්ද තව පුරස්න කෝටියකට විතර උත්තර දෙන්න වෙනව. 

මට හිතෙන්නේ සින්නට මිනිස්  තොල් පිළිබද MIT එකේ ආචාර්ය උපාදියක් තියෙනවද කොහෙද .

මොකද මේ දවස් වල ඒකෙ  ආචාර්ය උපාදි තියෙන උං වැහි වැහැල 

ආ.... බොන්නැතුවට  කමන් නෑ  වරෙං අපිත්  එක්ක යන්න,  ඒ ලග හිටපු හතර රියනක් විතර උස පොරක්, මෙන්න ඉතිං පොර  නැගිටල පෙර ගමන් ගත්ත

ඔන්න ඉතිං  යාලුවනේ පරණ කතා දෙකේම මංතුමා ප්‍රධාන චරිතේ උනාට මේකට චරිත දෙක තුනක් සෙට් වෙනව 

හතර රියනක් විතර උස ජෝර්ජ් රජතුමාගේ පරම්පරාවේ හැඩහුරුකම් තියෙන  ඇත්තෙක්, වයඹ පලාතේ නම්දරූ ඝෝෂක රත්නයක්, තුම්මුල්ලේ පද්මෙගේ අඩිපාරෙ ගිය දකුණුලකේ හාදයෙක්, තමයි මේ කිරිකොඩු ජුන්නව ඇන්න යන්නේ, 

කොහොමින් කොහොම හරි කැන්ටිමෙන් ගැලවිලා මමත් අර බුදුන් පස්සේ ගිය නන්ද කුමාරය වගේ මේ තුන්කට්ටුව පස්සෙ වැටුන. 

සාන්ත විදිහට කඩයක් කරන මුදලාලි කෙනෙක් ඉන්න ඉස්සරහ කඩේ තමයි අපේ ගමනාන්තය උනේ 

අනේ ඉතිං අදටත් මතකයි 

දෙකට ගණන් කරන්ඩ බැරි මම පැත්තකින් තියාගෙන තුන්දෙනාම ඩබල් දාල  ගත්ත නේද සිගරට් දෙකක් 

දැන්නං මගෙ කට පුරෝලා රස වෑහෙනවා   (දන්නෝ තමයි ඒකෙ රගේ දන්නේ )

මගෙන් ආගිය විස්තර කතා කරන ගමන් අයියල තුන්දෙනා දුම දානවා 

 මේකෙ අළු කඩල දියං ....... දකුණු ලකේ හාදය පුංචි උදව්වක් ඉල්ලුව 

සහෝදරයෙක් උදව්වක් ඉල්ලුවහම ඒක පුළුවන් උපරිමෙන් කරන එක අපේ යුතුකම

මමත් ඉතිං සිගරට්ටුවටත් හානියක් නෙවෙන්න ලස්සනට මැදැගිල්ලෙනුයි දබර ඇගිල්ලෙනුයි කරුව ගහල මහපට ඇගිල්ලෙන් සිගරට්ටුවේ පස්චාත් බාගයට ස්වීට් ටච් එකක් දීලා 

හා හා ඉතිං ඔය බවලත් උදවිය ලග තියෙන පෑන් පැන්සල් අතට අරං ඕක ට්‍රයි කරන්ඩ එපා 

සිගරට්ටුවේ අළු කැඩුව විතරයි මතක 

ඈ  බොල හු ##ගෙ පුතෝ  තෝ දැන් කිව්වා නේද තෝ සිගරට් බොන්නේ නෑ කියල එතකොට තෝ කරුව ගහන්ඩ පුරුදු උනේ අහවල් එකටද .....

කියාගෙන අර ඝෝෂකතුමා කඩාගෙන පැන්න කියහන්කෝ 

මංතුමාට උන් හිටි තැන් අමතකවුනා ඒ වෙලාවේ තමයි තේරුනේ අර කව්ද එකෙක් ජන්මෙට වඩා පුරුද්ද ලොකුයි කියල, කියල තියෙන්නේ කට කහනවට නෙමෙයි කියල 

දැන් ඉතිං  මං කුමක් කරන්ඩද ........... ආදරය කරනු මිස.......... 

අදටත් මං කියන්නේ ඔය පැකට් එකේ ගහල තියන ඒවායි දොස්තරල කියන ඒවටයි අමතරව සිගරට් බීමේ  දරුණු ආදිනව තියෙනවා 

ඒ වගේම තමයි බොරු කීමේ ආදිනවත් දිට්ට ධම්ම වේදනීය වෙනව 

කරුණාවෙන් කඩේ පිටිපස්සට මාව කැදවන අණ ඇහුනෙ ඒ වෙලාවෙ 

කඩේ පිටිපස්සේ තමයි තිබ්බේ ටෝබැකො එකේ පරීක්ෂනාගාරය 

ඔය සිගරට් බොන ඇත්තෝ බලන්ඩකෝ මේ විදිහට බිව්වහම තියෙන ආතල් එක 

සිගරට් කිව්වට සිගරට්ම නෙමෙයි ෆිල්ටර් 

ෆිල්ටර් කිව්වට එකක් නෙමෙයි දෙකක් 

ෆිල්ටර් කිව්වෙ මේ වතුර ෆිල්ටර් එහෙම නෙමේ සිගරට් එකේ ෆිල්ටරේ අර අනික් හාදයෝ තුන්දෙනාම කටේ තියං ඇදපු එක 

කව්ද හිතන්නේ නහයෙ තියෙන හිල් දෙකෙන් ෆිල්ටර් කොට දෙකක් ඇදල කටින් දුම දාන්ඩ නිකන් ඉන් ටු ඩි ඩ්‍රැගන් වගේ 

කටින් එක ෆිල්ටර් එකයි නහයෙන් එක ෆිල්ටර් එකයි එකවර අදින්න 

අවසානයේ රස නහර පිනා යන ෆිල්ටර් කොට ආහාරය ..... ඒක යූ ටියුබ් එකේ මේ දවස් වල වැහි වැහැල තියෙන කිසිම කෑම චැනලයකවත්  නැති රහස් වට්ටෝරුවක් 

ඉතිං එකී මෙකී නොකී  සියලු දේ කරල අන්තිමට අරං දුන්න ප්ලේන්ටියත් ගහල කිරිකෝඩු ජුන්න පාරට ඇවිත් බස් එකේ ගෙදර ආව, 

ඒක තමයි පුරා වසර හතරක් මම ආසාවෙන් ගතකරපු මගේ ශිල්ප තක්සලාවෙ පලවෙනි දවස 

ඉතිං ඒ හිටපු අවුරුදු  හතරෙ මේ බණ්ඩගේ  හිතේ කොනක ඉතුරුවෙච්ච දේ ඉස්සරහට කියංඥ්ඥං හොදේ ........


යකෝ පලවෙනි දවසෙම  සින්නොත් එක්ක සිගරට් බීපු එකා කව්ද ?????? 

බාලාන්සෙ කාලෙ ඉදං දැකල පුරුදු ඩයල් එකක් කෑ ගගහ කාවද හොයනවා ......









Thursday, October 29, 2020

කොහෙද උබෙ ඉස්කෝලේ ????

 ආ.... උබල තාම මේසෙ යටද??? වරෙල්ල වරෙල්ලා දැං උඩට කතාව අහන්ඩ,

කොහෙද උබෙ ඉස්කෝලේ ????.....

සින්න ඉස්කෝලේ නම අහපු ගමං ඉහමොල රත්වුනා සහෝදරවරුනි,

අප්පමාදෝ අමතපදං ......කියල තුන් තිස් පැයේ මැතිරුවට ඒ ප්‍රශ්නෙට උත්තරේ දෙන්ඩ නං ටිකක් පමා උනා.

ඇයි තොට මං කියපු දේ ඇහුන් නැතෙයි ..... 

දැන් ඉතිං මන්ද පමා නැතුව කියන්නත් එපැයි,  

හැබැයි ඉස්කෝලේ කිව්වට පස්සේ ගම්පහ කියල අහගත්ත ඒව ඩබල් ත්‍රිබල් වෙලා එනවා කියල ඒ වෙනකොටත් මගේ ටිකිරි මොලේට තේරිලා තිබ්බෙ.

වා නං වා.. පෝ නං පෝ ..  කම් ඕ ගෝ චිකාගෝ,  කියල කියන්ඩයැ 

චිකාගොත් නෙමේනෙ මරදානෙනෙ,

හතරට පහට ඇඹරුන මම ඇහෙන නෑහෙන ගානට ඉස්කෝලේ නම කියල දැම්ම, 

 කොහෙද ?????

අනේ අර ජෙෂ්ඨ උත්තමය අහනවා,

කොළඹ කියල කියන්ඩ හදද්දී දිව පැටලිලා කියවුනේ මරදානේ කියල කියපංකො,

ඒක ඇහුන විතරයි මිත්‍රවරුණි , 

රා කළ සොලොසක් බී දසත ගුගුරුවමින් නුවරවුන් හුදී ජනයා කම්පිත කරවමින් මහමගට බට නාලාගිරි නම් වූ  හස්ති රාජයා වගේ 

අයියා බැලුවෙ නැද්ද මං දිහා.

අඩෝ තෝ ඒකෙ කියල ලොකු එකෙන්ද ????

ඇයි තොගේ ඉස්කෝලේ ලොකුද ??? 

ලොකු කමකට කියනවා නෙමේ ආයුබෝවන්ඩ අපේ ඉස්කෝලේ ඉඩම  අක්කර වලින්ම අක්කර10ක් ලොකුයි. කොළඹරට මැද්දෑවෙ අක්කර 10ක් කියන්නේ සුළුපටුද .. 

ඕව ඉතිං මං තේරුං කොරන්ඩයැ  මේ නාලාගිරියට... 

තොපිල මේ එක එකාගේ ඇ # මිරිකල මේවට ඇවිල්ල  ටික දවසක් ඉදල දාල යනව. අන්තිමට තව එකෙකුට එන්ඩත්  නෑ  

මේකා නවත්තන්නේ නෑ  හරියට 96, 97 කාලේ සනත් ජයසූරියට මනෝජ් ප්‍රභාකර් අහුවුනා වගේ, 

  ආ ඒකද  උබ මේ  ලොක්කෙක් වගේ ආපු හැටියේ දුවන්නේ????

එහෙම මේ උබල ඕනෙ වෙලාවට එන්ඩ යන්ඩ  තෝ මේක අම්බලමක් කියල හිතුවැයි .... 

වෙන්ඩ තියෙන දෙයක් සක්කරයටවත් වලක්කන්ඩ බෑ කියනවනේ,  එලියට යන ගේට්ටුව පෙනී පෙනී ආයෙත් මාව ඇදගෙන ආවෙ නැතෑ  කැන්ටිමට. 

කියන්ඩ සන්තෝසයි අර මට ගල්බනිස් ගිල්ලවපු සෙට් එකත් තාම එතන.

උං සෙට් එක තවත් මං වගේම බෝපැලයක් වගේ අහිංසක කුරාකුබියෙකුටවත් වරදක් නැති කොලුපැටියෙක් මඩවනවා ලෙසටම.

ඌ කොච්චර සෙට්වෙලා ඇවිල්ලද කියනවනං ඌ දහම් පාසල් සහතික, නිවාසාන්තර උස දුර පැනපු සහතික සේරම ගෙනල්ල. මම යනකොටත් ඌ මනෝ පුටුවක් ගහගෙන සින්නො සංවර ශීලයෙ  පිහිටවනවා.

හැබැයි මම ඌව දැක්ක අන්තිම දවසත් එදා ... 

ඒ....මේ බලපං මූ මරදානෙ  ආ###  ලු,  

බඩගින්නේ හිටපු වානර රෑනකට ඉදිච්ච කෙහෙල් කනක් හම්බවුනාම කොහොමද ආතල් එක,

 දැන් ඉතිං ආයෙ කරපංකෝ මුං  කරන්ඩ කියන සේරම,

ආ උබ එහෙද??? ඇයි උබ හිතන්නේ ඒකෙන් ආපුවහම් පොරවල් කියලද ???

අඩෝ මේ උබට ආයේ මේක ඇතුලේ ඔය නම කියන්ඩ බෑ , 

තොගේ ඉස්කෝලේ අද ඉදං  "මරියකඩේ සෙන්ට්‍රල්"  හරිය.. 

ඔන්න ඉතිං තල් අත්තට බොරළු වැටෙනව වගේ නාලගිරියයි උගෙ සෙට් එකයි  කියවගෙන කියවගෙන යනව, 

දැන් උබ තනි කකුලෙන් හිටු, 

ආ.... ඔහොම පැන පැන මේ කැන්ටිමේ ඉන්න හැමෝම ගාවට ගිහිං කියපිය උබේ අලුත් ඉස්කෝලේ නම,

ඇටබිරිත්තන් කාලේදි  බට්ට පැන්නට පස්සේ  ආත්මෙකට බට්ට පැන්නෙ නෑ,

දැන් පලකො මෙහෙම  බට්ට පැන පැන,

කැන්ටිමේ පැත්තක සින්නො සෙට්එකක්  කැරම් ගහනව, 

තව සෙට් එකක් ටීවි බලනව, කනවා බොනවා, 

තව උන් ටිකක් ... උං  නෙමෙයි ඒකෙ ස්ත්‍රී ලිංගෙ,

 ලේසියට අපි සින්නියෝ කියමු බොරුවට පොත් පෙරලන් සැටලයිට්  එක වටේට දාගෙන ඉන්නව. 

ආ ....ආ .... ඒ අතරෙ කොටුදාන තරං නැතිවුනාට ලව් කරන උනුත් හිටිය. 

ඉතිං සීනියර් උත්තමයන්ගේ කාරුණික ඉල්ලීම හින්ද සින්ගල් වීල් එකේ  නැගපු මරියකඩේ සෙන්ට්‍රල්  එකේ මංතුමා මේ සියලු හුදී ජනයා ගාවට යන්න පටං ගත්ත. 

 මුලින්ම ඉතිං අර සින්නියො හිටපු පැත්තට ලයින් කරල උන්ට ආතල් එකක් වුණා, 

සිනා සෙන්න සිනා සෙන්න එතකොට තර වෙයි........ 

කියල කව්ද පඩිතුමෙක් එහෙම කියල තිබ්බලුනේ, 

මම දුන්න ආතල් එකෙන් කටුස්සන් වගේ ඉන්න මුන් ටික තර වේවා!!! 

 ඒ පින්බලෙන්  මට මේ නරාවලෙන් ගැලවීමට හැකිවෙත්වා!!!!

සාදු සාදු කියහල්ලකෝ බං මගෙන්ම ආතල් ගන්ඩ දාගෙන මේක කියවන්නේ, 

ඔහොම හිතාගෙනම සිංගල්වීල් එකේ වමට සිග්නල් දාල හැරෙව්වා දකුණට 

එතකොට තමයි සුදු ෂර්ට් එකයි කළු කලිසමයි ඇදල පොලිෂ් කරපු සපත්තු දාපු  පිළිවෙලට ඉන්න සෙට් එකක් කැන්ටිමට ආවෙ. 

උං නං ටිකක් මනුස්ස පාටයි මේ  කිරිකොඩු ජුන්නගේ හිත කිව්ව.

ඇයි හත්දෙයියනේ කාටද එහෙම හිතෙන්නෙ නැත්තෙ, මෙච්චර වෙලා දැක්ක සේරම සින්නො ඩෙනිම් කට්ටක් ගහල මෙලෝ මැච් විල්ලක් නැති ටීෂර්ට් එකක්  ඇදල බාටා දෙකක් ගෙන හිටපු උංනෙ,

හරියට අර නන්ද කුමාරය දාගිය හේනේ වැදිරියෝ දැකල තව්තිසාවේ දිව්‍ය අප්සරාවෝ දැක්ක වගේ මගේ හිතත් පලයං පලයං ඒ පැත්තට කියල කිව්ව,

මොකෝ එහෙම කියල ඩබල් එකේ යන්ඩයැ , 

මං සිංගල්වීල් එකේම ලයින් කලා ඒ පැත්තට ....

කතාවේ හැටියටනං සෙට් එක සිගරට් එකක් බොන්ඩ යන්න හදන්නේ 

අඩෝ උබ සිගරට් බොනවද ????

ඝෝසකයෙක් වාගෙ ඇත්තෙක් මගෙන් ඇහුව,

වෙලාවේ හැටියට දුමක් දාන්ඩ තිබ්බනං පට්ට ...................... 

පලවෙනි දවසෙම සින්නෙක් එක්ක දුමක් දාපු කතාව ඊළගට අහමු හොදේ...











Thursday, October 22, 2020

තොගෙ ගම කොහෙද ??????

වර්තමානයේ සහ නුදුරු අතීතයේ නම් මෙම ප්‍රශ්නය නොඇසුන, නොඅසූ  තරම්ය. නමුත් වසර විස්සක් පමණ අතීතයේ මෙය අප මුව නිතොර රැදුණු වදනකි. අප නවක සිසුන් ලෙස ඉන්නා කාලයේ ජේෂ්ඨයන්  මුලින්ම අසන ප්‍රශ්නය වන්නේ මෙයයි. මුල් දින දෙක තුනෙහි නිවැරදිම පිළිතුර  ලබාදුන්නත් ලැබෙන ප්‍රතිචාර අනුව කෙමෙන් පිළිතුර වෙනස් විය.

මොන බම්බුවක්ද මේ ....... තෝ ...කියල පටන් අරං රාජකාරි වාර්තාවක් වගේ ලියන්නේ, තොට පිස්සුද ......

ආයේ පටං ගමු , 

තොගෙ ගම කොහෙද ??????

උසස් අධ්‍යාපනය සදහා ආයතනයේ ගේට්ටුවෙන් ඇතුල් වෙච්ච පළවෙනි පැයේම හත් අට දෙනෙක්ම මගෙන් ඇහුව. 

රැග්  එක ගැන අහල තිබ්බට, හීනියට වගේ A /L  වලට ඉස්කෝලෙට ආපු එකෙකුට රැගක් දීල තිබ්බට, ඔය මගුල ගැන මෙලෝ මලදානයක් මං දැනන් හිටියේ නෑ .

ගම්පහ අයියේ........ලේසියටත් පහසුවටත් මං  කියලදැම්ම ,

ආ....  උබ ගම්පහ කියල ලොකු එකෙන්ද, අඩෝ.. මේ.. ඒ ලොකු ලයින් මෙහෙ බෑ  හරිද තේරුනාද උබට 

මල මගුලයි. වටපෝරියල්  දෙනවා. 

ඉවසන්ඩම  බැරි වැඩේ ඒ කෑගහන එකා මටත් වඩා කොට බටු ඇටයක් වගේ  එකෙක් 

උබ ගම්පහ කොහෙද??? හුටා මෙන්න එකෙක්  ආයෙත්  අහපි , දීපංකො  උත්තර 

 වැලිවේරියේ අයියේ .... කියල ඔහේ ආවට ගියාට කියල දැම්ම 

ඒ කාලේ වෙනකොට වැලිවේරිය දැන් වගේ ජනප්‍රිය වෙලා තිබ්බෙ නෑ . පස්සේ ඉතිං  ෂෙහාන් මිහිරංග සුපර්ස්ටාර් වෙලා, ජෙයරාජ් ප්‍රනන්දුපුල්ලෙට බෝම්බ තියල, රතුපස්වල වතුර කේස් වෙලා වැලිවේරිය පොඩ්ඩක් ලංකාවේ ජනප්‍රිය උනා 

වැලිවේරියේ කොහෙද??? මෙන්න මූ ආයේ අහනව 

දැන් නං සන්තෝසේ ඉහෙං කනෙන් බේරෙනවා ... ඒ මදිවට තවත්  පොරවල් දෙන්නෙක් තුන්දෙනෙක්  දැන් සෙට් වෙලා 

වෙනඩ  තියෙන දෙයක් වලක්වන්ඩ  බෑනේ පින්වත, තිබ්බ නොතේරුම්කමටම මං  කිව්වා අපේ ගමේ නම 

වැලිවේරියේ ... කිරිකිත්තේ අයියේ .............

මොකද යකෝ කියවන උබල හිනාවෙන්නේ, කිරිකිත්ත කියන්නේ ලංකාවේ තියෙන සුන්දර ගමක්. 228 කොළබ - ගම්පහ බස් පාරෙ කොළබ ඉදල හැතැක්ම 18ක් ආවහම තමයි කිරිකිත්තට යන පාර හම්බවෙන්නේ . දැන් ඉතින් මං ඕව කියන්ඩද එතන.

බකස් ගාල හිනාවෙච්ච සින්නො ටික හරි ඉක්මනට හිනාව කපල සෙට් උනා  කියපන්කො හොද බයිට් එකකට 

කිරිකිත්ත ඒක කොහෙද බොල  තියෙනේ, කියපිය බලන්ඩ තොගෙ ගමේ නම හදුනා හැටි 

අනේ හරිම කාරුණික ඉල්ලීමක් 

අන්තිමට ගමේ නම හැදුන හැටි, (කිරි + කෑ +කෙත ) කිරිකිත්ත වෙච්ච හැටි දන්න අහල තිබ්බ විදිහෙට කියලදැම්ම

ඒ කියන්නේ යටගිය දවස බරණැස , නෑ නෑ  බරණැස නමේ ලක්දිව සොලීන්ට එරෙහිව සේනා සංවිධානය කරපු වළගම්භා රජතුමා ඔය වාරණ අත්තනගල්ල ගල් ගුහා වල ඉන්න කාලේ  වෙලේ (කෙතේ) ඉදං කිරි කාපු හින්ද (කිරි + කෑ +කෙත ) කිරිකිත්ත වුණාලු 

ඕක කියල ඉවරවුනා විතරයි මචං එකෙක් අල්ලාගත්තේ නැතෑ  ඔය කතාවේ තිබ්බ කිරි කාපු කෑල්ල 

ආ එහෙනං උබල එදා ඉදං කිරි කන උං නෙ  එහෙනං කියපං බලන්ඩ කොහමද අන්ධය කිරි කෑවෙ කියල 

හත්තිලව්වට ගහපු කලාබරේ වගේ මතක නෑ  කියපංකෝ කථාව  මොනව කරන්ඩද මේ වසවර්ති මාරයන්ගෙන් ගැලවිලා ගෙදර යන්ඩත් එපැයි . ඉතිං  මතක විදිහට තටම තටම ගැටගහගෙන කිව්ව ඒ කතාවත්.

ඔන්න ඉතිං ඒක දැන් මෙතන කියන්ඩ එහෙම කියන්ඩ එපා හොදේ මොකද එදා වගේම අදටත් ඒක මතක නෑ 

දුන්න ආතල් වලට හරියන්ඩ උංගෙන්  හම්බවෙච්ච් ගල් බනිස් ගෙඩියයි  වතුර ජෝග්ගුවක් කැන්ටිමේ මේසයක් යට ඉදන් සප්පායන් වෙලා පැය බාගෙකට විතර පස්සේ කැන්ටිමෙන් එලියට පැන්න.

දැන් නං ඉතින් එළාර සේනාව පරද්දපු දුටුගැමුණු රජ්ජුරුවෝ වගේ 

එකත් පස සුදෝ සුදු සේද සළු මෙන් සුපිපි වතුසුද්ද මල් ගොමුවකි, අනෙක් පස එකිනෙක පරයමින් නැගෙන්නට වෙරදෙන විලෝ ගස් යායකි. ඒ මැදින් සින්නන් ජයගත් කුමරුවෙකි............

ස්ස්  .....ස්ස්  ..ස්ස්  ...........

සූ සූ ගාල කතා කරනවා මටද කොහෙද , අදුරන එකෙක් වෙනඩ  ඇති, 

මගෙ සිත...... මොනවාද..... මුමුණනවා 

හැරුන කියපංකො එක පයින් කට කනේ තියාගෙන, 

ඒ මෙහෙ වරෙන් ......  තෝ කොහෙද යන්නේ ??? 

තොගෙ ගම කොහෙද ??????

මනො පුබ්බඞගමා ධම්මා - මනො සෙට්ඨා මනොමයා
මනසා චෙ පදුටඨෙව භාසතිවා කරොතිවා
තතො නං දුකඛමනවේති - චක්කංව වහතො පදං

බුද්ධ වචනය තුන්කල් සත්‍ය බව මට ටොකු ඇන ඇන මතක්කලේ අර හැරියන්  මචං කියපු මගේ හිත් පොජ්ජම තමයි.

මක්ක කරන්ඩද කියල හෙමින් හෙමින් ගියා අලුත් සින්න ගාවට 

ආ....තොගෙ ගම කොහෙද ?????? ඌ ආයෙත් අහපි 

ගම්පහ අයියේ .......

 සහෝදරකම උතුර යන සෙනෙහසින් කට පුරා හිනාවෙච්ච මම

ඈ  යකෝ තෝ මාත්  එක්ක හිනාවෙන්නේ තෝ මාව අදුනනවද ?

මලා ..... වදින්ඩ ගිය දේවාලේ වැටුණ නේද පුතේ ඔලුවටම 

කපපිය තොගේ හිනාව .... සින්න දෙසනවා මාර දිව්‍යපුත්‍රයා වගේ 

මං දන්නවද හත්දෙයියනේ හිනාවක් කපන්ඩ 

උබල ගම්පහ කියල මෙහෙ ලොකු ලයින් දාන්ඩ බෑ හරිය ... 

මම සාන්ත දාන්ත තීන්ත කුප්පිය වගේ බිම බලාගෙන හිටිය 

උබ ගම්පහ කොහෙද??? ආයෙත් කෝච්චිය පරණ පීල්ලෙම 

ඔන්න ඔය වෙලාවේ තමයි කුබි  පුකක් තරං තියෙන මාගේ මොලගෙඩියට වෝල්ට් තිස්තුන්දාහක් වැදුනේ. රෑ වැටුණු වලේ දවල් ඕනෙතරන් වැටිලා තියෙන මම මේ වැදිච්ච කරන්ට් පාරෙන් පොඩ්ඩක් චාර්ජ් උනා කියහන්කෝ 

ගම්පහ ඉස්පිරිතාල හන්දියේ  අයියේ ...... ඉස්පිරිතාල හන්දියේ සාන්ත ෆූඩ් සෙන්ටර් කියන්නේ අපේ කඩේ 

පුරා අවුරුදු තුනක්ම වලබැහැපු තැන, කෑව බිව්ව තැන 
තිස් තුන් පැයේම චුටියගේ කඩේ ලැග්ග හින්ද ජන්මෙට වඩා පුරුද්ද ලොකුයිනේ,  

සින්න ගම්පහ හතරමයිමේ එකෙක් නෙමේ කියල උගෙ බාසාවෙන් දැනගත්ත හින්ද බය  සැක නැතුව කියල දැම්මා 

වැඩේ ගොඩ වගේ .... 

ආ..... කොහෙද තොගේ ඉස්කෝලේ ???????


මේක ඉවරවෙන මලදානයක් නෙමෙයි ඉස්කෝලේ කිව්වට පස්සේ වෙච්ච නස්පැත්තිය පස්සේ කියඤ්ඤං හොදේ 

එතකං උබට ආතල්ද ....... හිනාව කපල පලයං මේසෙ යටට ....😂😂